egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

2020 සැප්තැම්බර් - වර්තමාන සන්නිවේදන ප්‍රවණතා හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාහක සමීක්ෂණය - 2020

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ජනසන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායික දැනුම වර්ධනයෙහිලා විවිධාකාර වැඩසටහන් දියත්කරනු ලබයි. එහි එක් පියවරක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා වු වැඩමුළු මාලාවේ තවත් වැඩසටහනක් වශයෙන් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ. මෙම වැඩසටහනට මහනුවර,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වනු ලබන සියලුම ගුරු මහත්ම මහත්මීන් සහභාගි වුහ. එහිදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබනීවර්තමාන සන්නිවේදන ප්‍රවණතා හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාහක සමීක්ෂණය -2020 පර්යේෂණ කාර්ය සඳහා දත්ත දායකයින් ලෙස සහභාගි වීමේ අවස්ථාවක් ද ඔවුන්ට හිමිවිය.

මෙම සමීක්ෂණයේ මූලික අපේක්ෂාව වූයේ මුද්‍රිත,විද්‍යුත් හා සමාජ මාධ්‍යයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතා ආකල්ප, බලපෑම්, සහ ඒ වෙනුවෙන් ඉදිරිපත් කරනා යෝජනා පිළිබඳව සොයා බැලීමයි. එම අධ්‍යයනයේදී පහත කරුණු අනාවරණය විය.

ගුරුවරුන් මාධ්‍ය භාවිත කරන ආකාරය
■ සමීක්ෂණයට සහභාගි වූවන් අතුරින් බහුතරයක් තොරතුරු ලබා ගැනීම සඳහා තම ප්‍රධාන මාධ්‍ය වශයෙන් රූපවාහිනී මාධ්‍ය භාවිත කර ඇත. එය ප්‍රතිශතාත්මක වශයෙන් 57% ක් වැනි ඉහල අගයක් ගනී. තොරතුරු ලබාගැනීම සඳහා අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය 37% කි. 3% ක් වැනි අවම පිරිසක් ගුවන්විදුලිය හා පුවත්පත් මාධ්‍ය මගින් සිය තොරතුරු ලබාගන්නා බව නිරීක්ෂය විය. ඒ අනුව පිළිවෙළින් රූපවාහිනිය, අන්තර්ජාලය, පුවත්පත හා ගුවන්විදුලිය තොරතුරු ලබාගැනීම සඳහා භාවිත කරති.

■ දෛනික ජීවිතයේදී තොරතුරු ලබාගැනීමේ වඩාත් විශ්වාසදායක මාධ්‍ය ලෙස 51% ක පිරිසක් තෝරාගෙන ඇත්තේ රූපවාහිනී මාධ්‍යයයි. නමුත් තොරතුරු ලබාගැනීම සඳහා රූපවාහිනියට අමතරව අන්තර්ජාලය තෝරා ගැනීමට පුද්ගලයින් පෙළඹී සිටියත් ඒ වෙත විශ්වාසය තබන්නේ අඩු වශයෙන් බව පෙනේ. එය සමස්ත ප්‍රමාණයෙන් 10% කි.

■ තොරතුරු ලබා ගැනීමේදී වඩා විශ්වාසදායී මාධ්‍ය්‍යක් ලෙස පුවත්පත වෙත 29% ක් විශ්වාසය තබා ඇත. එසේ වුවද තොරතුරු ලබාගැනීමේදී ගුවන්විදුලි මාධ්‍යය වෙත විශ්වාසය තබා ඇති පිරිස 8% කි. සමීක්ෂණයට සහභාගි වූ පිරිසෙන් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ තොරතුරු ලබාගැනීමේදී තමන් කිසිඳු මාධ්‍යයක් වෙත විශ්වාසය නොතබන බවයි.

ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ අදහස
■ ජනමාධ්‍යයක තවත් එක් ප්‍රමුඛ කාර්යභාරයක් වන්නේ නිවැරදි මෙන්ම සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයයි.නමුත් 81% ක් වැනි ඉහළ පිරිසක් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ජනමාධ්‍ය ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳ තෘප්තිමත් නොවන බව පෙනේ. දේශපාලනීකරණය, ප්‍රයෝජනවත් නොවන පුවත් වාර්තාකරණය,ව්‍යාජ පුවත් වාර්තාකරණය හා චරිත ඝාතනය වැනි සාධක මෙයට වැඩි වශයෙන් බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි. පුවත් වාර්තාකරණයේදී ප්‍රමිතිය පවත්වා ගැනීම අතවශ්‍ය බවට 98% ක පිරිසක් විශ්වාස කරති.
■ එමෙන්ම වාර්තාකරණය ප්‍රමිතිගත කිරීමට,පුරවැසියාට සිදුවන හානිය වැළැක්වීමට, පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හා ජනමාධ්‍ය පිළිබඳ ස්වයං විනයක් ඇති කිරීම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ අධීක්ෂණය හා නිරීක්ෂණ ක්‍රමවේදයන් ඇතිවිය යුතු බව බහුතරයකගේ අදහස විය.

■ සමාජ මාධ්‍ය ද වර්තමානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට සාපේක්ෂව තරඟකාරී තොරතුරු සපයන්නෙකු ලෙස ක්‍රියාකරයි. සමීක්ෂණයට සහභාගිවූවන් අතුරින් 97% ක්ම දක්වා ඇත්තේ සමාජ මාධ්‍ය පාලනය උදෙසා නීති සකස්විය යුතු බවයි. ඊට අමතරව බහුතරයක් පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන චරිත ඝාතනයන් අනුමත නොකරති .

■ තවදුරටත් මෙම අධ්‍යයනය ඔස්සේ ලබාගත් සවිස්තරාත්මක දත්ත මගින් පැහැදිලි වන්නේ දැනට පුවත්පත් මාධ්‍ය ආචාරධර්ම නිරීක්ෂණය කරන එකම නෛතික ආයතනය වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ද කාලීන අවශ්‍යතාවන්ට අනුව ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්නයි. 78% ක් වැනි ප්‍රතිශතයක් ඒ බව දන්වා ඇත. 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271